වෙඩි හඬ - 1 කොටස මෙතැනින්
දිවාකර සිදුකල එම ප්‍රකාශයත් සමග කාමරයේ සිටි සියලුදෙනා පුදුමයට පත් වූ බැව් දක්නට ලැබිණි. ප්‍රසිද්ධ රහස් පරීක්ශකයෙක් වන ඔහු කරන මෙම ප්‍රකාශය පිලි නොගන්නා කෙනෙක් මෙතැන නැත, නමුත් ඔවුන් පුදුම වන්නේ තමන් දුටු කරුණු අනුව මෙය බරවන්නේ මිනී මැරුමක පැත්තට නොව දිවි නසාගැනීමක පැත්තට වන නිසාය. ඉන්පසු නිවසේ දුරකථනය වෙත ගිය ඔහු එහි රිසීවරය ඔසවා ඇමතුමක් ගන්නා බවත් කිසියම් දෙයක් සටහන් කරගන්නා බවත් දක්නට ලැබිණි. ඉන්පසු පොලිස් නිලධාරියා ඇමතූ ඔහු,
"ජයසුරිය, මම ටෙලිපෝන් එක රි-ඩයල් කලා....අන්තිමට කෝල් කරලා තියෙන්නේ ටැක්සි කොම්පැනියකට. ටැක්සියක් ගෙන්නලා තියනවා අද උදේ හයට විතර. මෙන්න මේ නම්බර් එක තියන ටැක්සිය හොයා ගන්න ඩ්‍රයිවර් ගේ නමත් තියනවා, ඊට පස්සේ අමාරු වෙන එකක් නැහැ උදෙන්ම මෙහෙන් පිටවෙලා ගිය නෝනා ගැන විස්තර ටිකක් හොයා ගන්න, හැබැයි අපි ඉක්මන් කරන්න ඕනෑ......බොඩි එක මරණ පරීක්ෂනේට යවන්න, ගෙදර සීල් කරන්න, අපි ඉක්මනට මේ නෝන ව හොයාගන්න ඕනෑ...."
මේ අතර වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ නිවස පසුපස විල්ලුවෙහි මාළු අල්ලමින් සිටි පුද්ගලයා ගෙන්වූ බව දිවාකරයන්ට දන්වනු ලැබිණි. ඒවනවිටත් පරීක්ෂණ කටයුතු අවසන් වී තිබූ බැවින් ආම්පන්න හකුලා ගැනීමේ කටයුතු මඳකට නතරකල ඔහු අදාල පුද්ගලයා හමුවීමට නිවසෙන් පිටතට පැමිණියේය. කළු, හීන්දෑරි තරමක වයස්ගත ගැමියෙකු වූ ඔහු, කඩමලු සරමක් පමණක් ඇඳ උඩුකය නිරුවත්ව සිටියේය. බුලත් කහට බැඳුනු දත් පෙන්වමින් තනිවම සිනාසෙමින් සිටි ඔහු වෙත ගිය දිවාකර කතාව ආරම්භ කරනු දක්නට ලැබිණි.
මාළු බෑමට ඔහු පැමිණි වෙලාව හෝ වෙඩි ශබ්ද ඇසුණු වේලාවන් පිලිබඳ තොරතුරු නිවැරදිව ඔහුගෙන් දැන ගැනීම අපහසු බව දිවාකරට පෙනිණි. කෙසේ උවත් වෙඩි ශබ්ධ දෙක අතර අවම තරමින් අඩ පැයක වත් වෙනසක් ඇතිබව කතාබහෙන් වැටහිණි.
'දෙවැනි සද්දේ කන ලඟින්ම වගේ ඇහුනේ මහත්තයෝ....' මෙය ඔහුට හිතන්නට බොහෝ දේ ඉතිරි කළේය. වෙඩි ශබ්ධ දෙකක් යනු ඉතා වැදගත් ශාක්ෂියකි. නමුත් කාමරයේ තිබුණු ගිනි අවියෙන් පිටව තිබුනේ එක් උණ්ඩයකි. 'මේ මිනිහා කියන්නේ ඇත්තක්ද? ඇත්තක් නම් අනෙක් වෙඩිල්ල තැබුවේ කව්ද?', 'ඒ ඇයි ?', 'දෙවැනි ශබ්ධය ගැන ඔහු විශේෂයක් දක්වන්නේ ඇයි?' තමන් ඉදිරියේ නූල් බෝලයක් මෙන් පැටැලුණු සිද්ධි දාමයක් ඇති බැව් දිවාකරට පෙනේ. කෙසේ හෝ නිවැරදි කොන සොයාගතහොත් මෙය ලෙහා ගැනීම එතරම් අපහසු නොවනු ඇත.
******
"ඒක නෙවෙයි දිවාකර මහත්තයා... කොහොමද අර කිව්වේ මේක මිනීමැරුමක්, තව කෙනෙක් මේ ගෙදර ඊයේ රෑ හිටියා කියලා..... ඒක කිව්වා කියමු. එත්......., කොහොමද කිව්වේ ගෑණු කෙනෙක්ම හිටිය කියලා......... හරි පුදුමයි, හරි පුදුමයි.......... "
"ඒ විතරක් නෙවෙයි ජයසුරිය, මේ කියන ගෑණු කෙනා අපේ රටේ කෙනෙක් නෙවෙයි කිව්වොත් පුදුමය තව වැඩි වේවිද? " දිවාකර එසේ ඇසුවේ හඬනගා සිනා සෙමිනි. පොලිස් නිලදරුවා එය අසා පුදුමයෙන් පුදුමයට පත් වූ බව දක්නට ලැබිණි.
"මෙහෙමයි, අපි පලවෙනි කාරණේ ගනිමු. දැක්කද උන්ඩේ ඇතුළුවෙලා තිබුන තැන? හරියටම දකුණු කනට අඟල් දෙකක් විතර උඩින්. උන්ඩේ පිටවෙලා තියෙන්නේ වම් කනට පහලින්. අපි උපකල්පනය කරමු මිනිහ නුහුරු අතින් ඒ කියන්නේ දකුණු අතින් වෙඩි තියා ගත්තමයි කියලා. එහෙම උනානම් උන්ඩේ පිටවෙන්න ඕනේ ගොඩක් වෙලාවට සමාන්තරව අනෙක් පැත්තෙන්. තමන්ටම වෙඩි තියාගන්න කෙනෙක් මේ තරම් අමාරු ඉරියව්වකින් උණ්ඩයක් ඇතුල් කර ගනී කියල හිතන්න බැහැ. උඩ ඉඳන් පහලට උන්ඩේ යන විදිහට? කොහෙත්ම වෙන්න බෑ..........."
"මෙතන උන්ඩේ ඇතුල්වෙන තැනයි පිටවෙන තැනයි අතර තියන ඈන්ගල් එක අනුවයි, පුටුවේ උස අනුවයි මට කියන්න පුළුවන් මිනී මරුවා අඩුම තරමේ අඩි හයක් වත් උස කෙනෙක් !! ඔව් මගෙ උපකල්පන ඔක්කොම හරි නම් බොහොම උස කෙනෙක් වෙන්න ඕනෑ......... "
"අනිත් කාරණේ.......... ගෙදර හිටපු කෙනා ගෑණු කෙනෙක් කියන එක, ඒක කොහොමද කිව්වේ........"
"මම නිදන ඇඳ, ඒ වගේම ඇතිරිලි පරික්ෂා කලා........ ඒකේ තිබ්බා ටිකක් මිල අධික කාන්තා විලවුන් සුවඳක්, සමහර සෙන්ට් වර්ග ගෑවුනාම දවස් ගනං සුවඳ තියනවා තමයි, හැබැයි ඇඳ ඇතිරිලි දාලා තියෙන්නේ බොහෝවිට ඊයේ......... ඉතින් උපකල්පනය කරන්න පුළුවන් සෙන්ට් ගෑවුනේ ඊයේ කියලා. ඇඳ ඇතිරිලි බැලුවම ඒවා බොහෝම අලුත්. සේදුම් කුඩු සුවඳ ඉතා හොඳින් තියනවා............ඇතිරිලි පාවිච්චි නොකලොත් ඇරෙන්න සේදුම් කුඩු සුවඳ තියෙන්නේ වැඩිම උනොත් දවස් දෙකක් විතර. ඒකෙ බ්‍රෑන්ඩ් එක කියන්න ඕනේ නැහැනේ..." දිවාකර එසේ කීවේ සිනහසෙමිනි.
"අනිත් එක අපේ රටේ නෑ නොවැ දිග රත්තරන් පාට කෙස් තියෙන නෝනලා..........මට ලැබුණා දිග රන් පාට කෙස් ගස් කීපයක්ම ඇඳේ තිබිලා....... හොඳින් බැලුවම පෙනෙනවා මේවා ස්වභාවික රන් පාට කෙස් කියලා..... අහ් තව දෙයක් කියන්න බැරි උනා.........ලා තැඹිලි පාටට හුරු රතු තොල් සායම් පාවිච්චි කරලා...... රුපලාවන්‍ය කටයුතු කරගෙන තමයි ඒ නෝනා ගිහින් තියෙන්නේ........."
නිලධාරියා තව තවත් පුදුම වෙනු දුටු දිවාකර,
"හරි හරි ඒවා කිව්වේ මෙහෙමයි. බාත්රූම් එකේ කන්නාඩිය ළඟ හොඳින් බැලුවොත් පෙනෙයි රුපලාවන්‍ය උපකරණවලින් වැටුන සියුම් කුඩු.....ඒ වගේම වැඩිපුර ගෑවුණු තොල් සායම් පිහදමපු ටිෂු කඩදාසියක් තිබ්බා බාත්රූම් එකේ කුණු කූඩේ............බොහොම කිට්ටු හිතවත් කමක් තියෙන කෙනෙක් වගේ........."
******
"සර් ටැක්සි ඩ්‍රයිවර් පොලිසියට ගෙනල්ලා........ අපිට ඕනේ නම් යනගමන්ම මිනිහට කතා කරලා යන්න පුළුවන්"
"ඔව් ඒක හොඳයි අපි මෙහෙමම යමු"
ඔවුන් පොලිසියට යනවිට රියදුරා තරමක නොසන්සුන් බවකින් සිටින බව දක්නට ලැබිණි. වයස අවුරුදු තිස්පහක හෝ හතළිහක පමණ පෙනුමැති, උස හැඩිදැඩි සිරුරක් ඇති ඔහු ඇවිදින ආකාරයෙනුත්, හිටගෙන ඉන්නා විලාසයෙනුත් ආරක්ෂක අංශ පුහුණුවක් ලැබූවෙක් වියයුතු බව දිවාකරට සිතිණි. අවශ්‍ය වන්නේ විස්තර කීපයක් දැනගැනීම පමණක් බව සැලකර සිටීමෙන් පසු ඔහු සන්සුන් විය.
"අද උදේ මෙන්න මේ ඇඩ්රස් එකෙන් කෙනෙක්ව ගන්න ගියාද" රියදුරාට ලිපිනය ලියු කොලයක් පෙන්වමින් දිවාකර ප්‍රශ්න කිරීම ඇරඹුවේය.
"ඔව් සර්, උදේ හය හමාරට විතර"
"කාවද එතනින් ගත්තේ"
"සුදු උස නෝනා කෙනෙක්, කතා බහෙන් තේරුණ විදිහටනම් ඇන්ඩ්රු මහත්තයාගේ නෝනා........."
"වයස කීයක විතර කෙනෙක්ද?"
"අවුරුදු තිස්පහක් විතර ඇති"
"කලින් ඉඳලා ඒ මහත්තයා දන්නවද?"
"ඒ මහත්තයා ගොඩක් වෙලාවට ගමන් බිමන් යන්නේ මගෙත් එක්ක, අපේ ඩ්‍රයිවර් ලා කාටවත් එහෙමකට ඉන්ග්‍රීසි කතා කරන්න බැරි හින්දා, මුල ඉඳලම ඒ මහත්තයා එක්ක ගමන් බිමන් යන්න වාහනයක් ඕනෑ උනාම කොම්පැනියෙන් යැව්වේ මාව. ඉතින් දැන් අවුරුද්දක් විතර තිස්සේ ඉඳලා මම තමයි යන්නේ"
"මීට කලින් අන්තිමට ගියේ කවද ද?"
"මීට දවස් තුනකට විතර කලින්"
"දවස් තුනකට කලින් !!, එතකොට නිතර යන එන තැන් තියනවද? "
"ඔව් සර්, හැම සෙනසුරාදාම වගේ කොළඹ ක්ලබ් එකට යනවා....., මම ගිහින් දානවා උදෙන්ම. තව ඉඳහිට බැංකුවට, තව........ වෙන සාමාන්‍ය ගමන් යැවෙනවා......."
"ක්ලබ් එකට ගියාම අපහු එක්ක එන්නත් යනවද?"
"ආපහු එන්නේ කොහොමද කියලා නම් මම දන්නේ නෑ, මම කරන්නේ ගිහින් දානවා විතරයි"
"එතකොට අද උදේ මොකද උනේ කියලා පොඩ්ඩක් කියමුද?"
"ඊයේ රෑ වැඩ කරපු හින්දා අද උදේ හතට මට ඕෆ් වෙන්න තිබ්බේ.... එත් හදිස්සියෙම අපේ ඔෆිස් එකෙන් කතාකරලා මට ඇන්ඩ්රු මහත්තයලගේ ගෙදරට යන්න කිව්වා.........කොහොමත් එහෙට යන්නේ මම හින්දා වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. ඉතින් මම හය හමාර වෙද්දී එතනට ගියා...............වෙනදා වගේ ගමන යන්න ආවේ මහත්තයා නෙවෙයි............ඉක්මනට වාහනේට නැගපු ඒ නෝනා එයාර්පොර්ට් එකට ගිහින් දාන්න කිව්වා......... "
"මොනවා...............එයාර්පොර්ට් එකට!!!!! මේ ගෑනි රටෙනුත් පැන්නද?"
මතු සම්බන්ධයි